Sunday, October 12, 2014

රාවණා නමැත්තෙක් ලංකා ඉතිහාසය තුළ ඇත්ත වශයෙන්ම සිටියේද? නැතිනම් එය හුදු මිථ්‍යාවක්ද?


නිර්මාල් දේවසිරි
මේ දිනවල බොහෝ මාධ්‍යවලින් රාවණා රජු හා ඔහුගේ සුවිශේෂ හැකියාව හා බලය ගැන විවිධ ප‍්‍රවාද වගා කරන බවක් දක්නට ලැබේ. කිසිම ශාස්ත‍්‍රාලයීය පිළිගැනීමක් නැති පුද්ගලයන් ලවා, කිසිදු ශාස්ත‍්‍රීය පැහැදිලි කිරීමක් හෝ මූලාශ‍්‍රයක් නැතිව පිටු ගණන් පුරා නොකඩවා දිගහරින එම මිථ්‍යාවල එකම අරමුණ ජනතාවගේ බුද්ධියට නිගාකරමින්, ඔවුන් පුද්ගලයන් නොව දේවල් බවට පත්කොට පුවත්පත් විකුණාගැනීම බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එනිසා රාවණා නමැත්තෙක් ලංකා ඉතිහාසය තුළ ඇත්ත වශයෙන්ම සිටියේද? නැතිනම් එය හුදු මිථ්‍යාවක්ද? මිථ්‍යාවක් නම් එසේ වන්නට හේතු වන කරුණු වශයෙන් පැහැදිලි කරන්නේ කෙසේද? යනාදිය අද දවසේ ශාස්ත‍්‍රීය වශයෙන් සාකච්ඡුා කළ යුතුය යන්න අපගේ හැඟීමයි. මේ ඒ සඳහා උත්සාහයකි.
පුද්ගලයෙක් හොල්මනක් දුටු වෙලාවක අපි මනෝ විiාඥයෙක් ගෙනත් අහනවා, තමන්ගේම ඔළුවේ තිබුණු දෙයක් නිසා මනුස්සයකුට මෙහෙම දේවල් පෙනෙන්න පුළුවන්ද කියලා. ඔහු කිව්වොත් ඔව්, පේන්න පුළුවන් කියලා ඉන් එහාට ඒ ගැන කතාකරලා වැඩක් නැහැනේ. ඒ විදියටම මේ වාගේ මිථ්‍යාවක් හැදෙන්න පුළුවන්. හොඳයි, එහෙම නොවෙන්නත් පුළුවන්නේ. ඒ නොවෙන පැත්තට මොනවාද තියෙන සාක්‍ෂි. ඒ පැත්තට සාක්‍ෂි හෙවුවාම මොකුත් නැහැ.
සාක්‍ෂි හැටියට මේ අය අමුතු දේවල් ගෙනෙනවා. ඒ කාලේ සෙල්ලිපි ආදියේ තියෙනවා යම් යම් නම්. ඒ නම් ඔය රාවණා කතාවල එන නම්වලට සමානයි. විශේෂයෙන් රාවණා අදහස ගෙනහැර පාන සූරිය ගුණසේකර වැන්නන් කරන්නේ බ‍්‍රාහ්මී අක්‍ෂර නැවත කියවීම. ඒවා නැවත කියවන්නත් පුළුවන්. මහාචාර්ය පරණවිතාන එක අවස්ථාවක ටිකක් මැකුණු අක්‍ෂර වගයක් කියවනවා, ‘ජවකනය’ කියලා. මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධනත් ඒවාම කියවනවා, ‘ජවකනයට වඩා සවකනය කියලා තේරුම් ගන්න පුළුවන්’ කියලා. එතකොට ලැබෙන්නේ සම්පූර්ණයෙන් වෙනස් පැහැදිලිකිරීමක්. සූරිය ගුණසේකර ඒකම අරගෙන වෙනම කෑල්ලක් දානවා. එතකොට පැහැදිලි කිරීම සම්පූර්ණයෙන්ම වෙනත් එකක්. මම වැඩිය කැමති ලෙස්ලි ගුණවර්ධනගේ පැහැදිලි කිරීමට. හැබැයි මම ඔහුට දෘෂ්ටිවාදීමය වශයෙන් වැඩිය කැමති නිසා මගේත් අගතින් තියෙනවානේ. නමුත් කියන්න පුළුවන් දේ තමයි, ‘අපි දන්නේ නෑ මේක. කෝකත් වෙන්න පුළුවන්’ කියන එක. ඉතින් ඒ අය කරන්නේ, මෙතැන තියෙන නම් අර කතාවේ තියෙන නම් එක්ක සම්බන්ධ කරන එකයි. විධික‍්‍රමය වශයෙන් ඒක අන්තිම වැරදි එකක්. අසත්‍යෙක්‍ෂණ තර්කය අනුව ගත්තොත් එහෙම නොවෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන් ඉඩකඩක් තියෙන එකක් වෙන්න පුළුවන් කියලා අරගෙන කතන්දරයක් හදන එක විධික‍්‍රමීය වශයෙන් වැරදියි. ඒක භාරගන්න කවුරුවත් බැඳිලා නැහැනේ.
විද්‍යාත්මක ක‍්‍රමයේ තියෙන වැදගත්කම තමයි, ඒ ගැන විශ්වාසයක් තියෙන කෙනකුට වගේම එහෙම නැති කෙනකුට වුණත් පිළිගන්න පුළුවන් විදියට එය ඉදිරිපත්කිරීම. උදාහරණයක් විදියට, මගේ රුධිරයේ පට්ටිකා ප‍්‍රමාණය අඩුවෙලා තියෙනවාය කියලා මම විශ්වාස කරන්න කැමති වුණත් නැතිවුණත්, මට ඒක පිළිගන්න පුළුවන් විදියට පෙන්වනවා. ඒක ස්වාධීන පරීක්‍ෂාවෙන් තහවුරු වෙච්ච දෙයක්. ඕනෑ කෙනකුට පරීක්‍ෂා කරන්නත් පුළුවන්. නමුත් මේ කතා එහෙම ස්වාධීනව පරීක්‍ෂාවට ලක්වුණු ඒවා නෙවෙයි. මේවා පිළිබඳ ඒ පැහැදිලි කිරීම ගෙනෙන්න පුළුවන් වෙන්නේ ඒ මතය පිළිගන්න අය වෙත පමණයි. ඒ කියන්නේ සැකයේ වාසිය සම්පූර්ණයෙන්ම ඔවුන් අතට ගන්නවා. මේක ලොකු විධික‍්‍රමික ප‍්‍රශ්නයක්.
ධර්මපාලට ඕනෑවුණේ හීනමාන ප‍්‍රශ්නයක් ජයගන්න
පහුගිය අවුරුදු විස්ස තිහ ඇතුළේ, ලංකාවේ පූර්ව ඓතිහාසික යුගය හැටියට, මහාවංශය කතාකරන කාලෙට කලින් කාලේ ගැන, තියෙන රිසර්ච්, කැණීම් වැඩියි. ශිරාන් දැරණියගල, රාජ් සෝමදේව වගේ අය ඒවා කරනවා. මෙයින් පෙනෙන දෙයක් තමයි මහාවංශයේ රාමුව දැන් සම්පූර්ණයෙන්ම බිඳිලා. මහාවංශයේ රාමුව ලංකාවේ රැුඩිකල් ඉතිහාසඥයෝ කොහොමත් ප‍්‍රතික්‍ෂෙප කරලා තිබුණේ. ඒක කරගහගෙන ගියේ සිංහල ජාතිකවාදීන් ටික පමණයි. මහාවංශ රාමුව ලංකාවේ අභිෂේක කළේ ධර්මපාල. ධර්මලපාලට ඕනෑවුණේ සිංහලයාගේ ආර්යභාවය තහවුරු කරන්න. එයා කිව්වේ, ‘අපි උතුරු ඉන්දියාවෙන් ආ ආර්යයෝ. අපි මෙහෙට එනකොට මෙහේ හිටිය යක්‍ෂ ආදී ගෝත‍්‍ර ද්‍රවිඩයෝ’ කියලා. කවුද කලින් හිටියේ කියන එක ඒ අයට වැදගත් වුණේ නැහැ. ඒ අයට වුවමනා වුණේ ‘ඉංග‍්‍රීසිකාරයෝත් ආර්යයෝ, අපිත් ආර්යයෝ’ කියලා පෙන්වලා පොඩි හීනමාන ප‍්‍රශ්නයක් ජයගන්න. ඔය කාලෙම රාවණා කතාවත් තිබුණා. ජේම්ස් ද අල්විස් වගේ අය භාෂාව ගැන කතාකළා. ඊට පස්සේ ඒක අරගෙන ගියා කුමාරතුංග මුනිදාසලා. ඔවුන් ටිකක් ධර්මපාලගේ සම්ප‍්‍රදායට විරුද්ධව තමයි වැඩ කළේ. නමුත් රාවණා මිථ්‍යාවෙන් තමයි ඒකට අවශ්‍ය ආම්පන්න ටික අරගත්තේ. ඒත් ලංකාවේ බැරෑරුම් ඉතිහාසඥයෝ ඒක බැ?රුම් ලෙස ගත්තේ නැහැ. මහාවංශය තමයි ටිකක් ආධිපත්‍යයික වුණේ. හැබැයි මහාවංශය ගැන විවේචනාත්මක සම්ප‍්‍රදායක්් තිබුණා. ජීසී මෙන්ඩිස් මහාවංශයේ මිථ්‍යා ස්වභාවය ගැන කිව්වා. ලෙස්ලි ගුණවර්ධන වගේ අය තවත් ඒ ගැන කතාකළා. වාමාංශිකයන් මහාවංශයේ රාමුව පිළිගත්තේ නැහැ. නමුත් සිංහල ජාතිකවාදයේ වර්ධනයත් එක්ක මේකට දේශපාලන හයියක් තිබුණා.
මහාවංශ කතාව දුර්වල වෙනවා
1983න් පස්සේ මෙහි හැරවුම් ලක්‍ෂ්‍යයක් ඇතිවෙනවා. එකක්, මහාවංශය පදනම් කරගත් ඉතිහාස සම්ප‍්‍රදායට පහරදෙන වෙනම බුද්ධිමය කතිකාවක් හැදෙනවා. ගණනාථ ඔබේසේකරලා, ලෙස්ලි ගුණවර්ධනලා විසින් මේක විසංයෝජනය කෙරෙන ක‍්‍රියාවලියක් යනවා. ඊට පස්සේ එන අලූත් ජාතිකවාදී ප‍්‍රවණතාවත් එක්ක තව එකක් එනවා. එල්ටීටීඊ එක වර්ධනයත් එක්ක ඉන්දියාව ලංකාව ආක‍්‍රමණය කරනවාය කියන එකක් එනවා. එතකොට තියෙන ප‍්‍රශ්නයක් තමයි, අපි සිංහල ජාතියේ උපත උතුරු ඉන්දියාවට භාරදීමයි, දැන් ඉන්දියාව කරන එකයි අතරේ තියෙනවා පොඩි නොපෑහීමක්. විශේෂයෙන්ම ඔය කතා හැදෙන්නේ ඉන්දියන් හමුදාව මෙහෙ ඉන්න කාලේ. වැදගත්ම දේ තමයි ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියන් හමුදාවට කිව්වේ ‘ඉන්දියන් වඳුරු හමුදාව’ කියලා. වඳුරු හමුදාව කියන එක ආවේ රාම එක්ක ආ හනුමන් නිසා. ඒකට සමාන්තරව ඔය කාලේම ආචාර්ය නලින් ද සිල්වාලා එකතුවෙලා නැවතත් අර හෙළ හවුලේ කතිකාව ඉහළට ගෙනාවා. කුමාරතුංග ගැන කළ දේශනයකදී (ඒක ඔහුගේ ජාතිය, සංස්කෘතිය හා චින්තනය පොතේ තියෙනවා) ආචාර්ය නලින්ගේම වචන මෙහෙමයි: ‘සිංහලයා පැවැත එන්නේ උතුරු ඉන්දියාවෙන් ආ හොර රැුලකගෙන් නෙවෙයි කියන එක තමයි කුමාරතුංග මුනිදාස පඬිතුමා දිගටම විශ්වාස කළේ. ඔහු කිව්වේ අපිට ඊට වඩා පරණ ඉතිහාසයක් තියෙනවා කියලා. ඔහුට ඒක ඔප්පුකරන්න තරම් ප‍්‍රමාණවත් සාක්කි නැතිවෙන්න ඇති. නමුත් ඒ මතය හරි වැදගත්.’ ආචාර්ය නලින් මේ විදියට කතා කරන්න පටන්ගත්තා. ඒත් ඒක එක එක කාලේට වෙනස් කළා. ඊට පස්සේ ඉන්දියන් හමුදාව ගිහින්, තම්බයියා ‘බුඩිසම් බිටේ‍්‍රඞ්’ පොත ලියන කාලේ ආයෙත් ආර්ය කතන්දරේටත් ගියා.
වැදගත් දේ තමයි, 83න් පස්සේ වන වෙනස්කම් නිසා මහාවංශය පදනම් කරගත් ඉතිහාසය අර්බුදයට යනවා. ඒකේ දේශපාලනික අගය, ශක්තිය නැතිවෙලා ඒකට ලේසියෙන් පහර දෙන්න පුළුවන්. ඒ නිසා මේ අයට ඕනෑ අලූත් ආඛ්‍යානයක්. මේ අලූත් ආඛ්‍යානය හදන්න ඔවුන් ගත්තේ අර හෙළහවුලේ සම්ප‍්‍රදාය සහ අලූතෙන් එන පුරාවිද්‍යාත්මක සොයාගැනීම්.
ලංකාව ජනාවාස වීම මුළු දකුණු ඉන්දියානු කලාපයේ ඇතිවෙච්ච ලොකු ක‍්‍රියාවලියක්. කාර්තිගේසු ඉන්ද්‍රපාල කියන ඉතිහාසඥයා කියනවා, දකුණු ඉන්දියාව සහ ලංකාව එක කොටසක් කියලා. මිනිස්සු නිතර එහා මෙහා යනවා. තියෙන්නේත් නොගැඹුරු මුහුදක්. මීට අවුරුදු හත්දාහකට ඉස්සර තමයි අන්තිමට ඉන්දියාව ලංකාව වෙන්වෙලා තියෙන්නේ. ඒත් මිනිසුන්ට පහසුවෙන් එහා මෙහා යන්න පුළුවන්. වතුර අඩුවුණු ගමන් ගොඩබිම පෑදෙනවා. ඔය මතකය තමයි, මිනිස්සු මිථ්‍යාවක් බවට හරවන්නේ. ඒක අර හනුමා පාලම හදපු කතාවත් එක්ක හරියටම ගැළපෙනවා. මතකයේ තියෙන කොටස් එක එක එකතු කරලානේ සම්පූර්ණ කතාවක් හදන්නේ.
විජය ජාතිකවාදීන්ට උදව් කරන්නේ නැහැ
සංස්කෘතීන් කිහිපයක් තියෙනවා. එකක්, මයික්‍රොලිතික් සංස්කෘතිය කියන්නේ බලංගොඩ මානවයා වගේ පොඩි ආයුධ පාවිච්චි කළ අය, ඒ අය සත්තු දඩයම් කරගෙන, ඔවුන්ගේ මස් ඉරාගැනීමට කුඩා ආයුධ පාවිච්චි කරගෙන එහෙම හිටියා. ඒක එකක්. මෙගාලිතික් හෙවත් මහාශිලා කියන්නේ, ලොකු ගල්වලින් කළ ගොඩනැංවීම් තියෙන, සුසානභූමි එහෙම හැදුව අය. ඒක මයික්‍රොලිතික් එකට වඩා දියුණුයි. එංගලන්තයේ තියෙන ස්ටෝන් හෙන්ජ් වගේ දකුණු ඉන්දියාවෙත්, මෙහෙත් තියෙනවා, ගල් මැස්ස වගේ දේවල්. ඒවා මොකට හැදුවාද කියලා තාම දන්නේ නැහැ. ඒ ආශි‍්‍රතව මිනිසුන්ගේ පිච්චුණු කොටස් වළංවල දාලා තැන්පත්කරලා තියෙනවා. සොහොන් බිම් වගේ. මේ මයික්‍රොලිතික් සහ මෙගාලිතික් සංස්කෘතීන්වල කාල නිර්ණය ගැන ප‍්‍රශ්න තියෙනවා. මේවා නිසා විජය කතාවේ රාමුව පැහැදිලිවම බිඳවැටිලා තියෙන්නේ. රැුඩිකල් මාක්ස්වාදියෝ කොහොමටත් ඒක විසංයෝජනය කරලා තිබුණේ. නමුත් දැන් හොඳටම පෙනෙනවා, ජාතිකවාදීනුත් ඒක ප‍්‍රතික්‍ෂෙප කරනවා. ජාතිකවාදීන්ගේ ෆැන්ටසි එකට කොහොමත් දැන් මහාවංශයේ විජයගේ කතාව උදව් කරන්නේ නැහැ. ඒ නිසා ඒක දැන් පැත්තකට දාලා අලූත් එකක් හදනවා. ඒක අර 1983න් පස්සේ සිංහල බෞද්ධයාගේ ෆැන්ටසි එකට හරියට හරියනවා.
කෑලිවලට රාවණා කතාව ගළපනවා
රාජ් සෝමදේව ගැනත් මගේ විවේචනයක් තියෙනවා. එයා හොයාගන්න දේවල් රාවණා කතාකාරයෝ තමන්ට ඕනෑ විදියට විශ්ලේෂණය කරනකොට එයා සද්ද නැතුව ඉන්නවා. නමුත් ඒකෙන් රාවණා කතාවට කිසිම ආලෝකයක් ලැබෙන්නේත් නැහැ. ඒවායින් කියන්නේ අනුරාධපුරය දියුණු නගරයක් වෙන්න කලින් -ඉන්දියාවෙන් ආ අනුරාධ නම් සෙනෙවියා මේක ඇතිකළා නෙවෙයි- ඊට පෙර යම්කිසි කාලානුක‍්‍රමිකව වර්ධනයක් ඇතිවෙලා තියෙනවා කියන එකයි. මේ වාගේ මධ්‍යස්ථාන කුඩා නාගරික ජනාවාස ගොඩක් තියෙනවා. ඒක අපි තවමත් හරිහැටි නොදන්න දීර්ඝ ඓතිහාසික ක‍්‍රියාවලියක්. මිනිසුන්ගේ ඔළුවේ තියෙන එක ලක්‍ෂණයක් තමයි හිස්තැන් තියාගන්න බෑනේ. රාජ් සෝමදේවගේ කැණීම්වලින් යම් යම් දේවල් සොයාගත්තාම, අපිට පුරාවිද්‍යාත්මක වශයෙන් ලැබෙන්නේ කෑලි ටිකක් විතරයි. අර රාවණා කතාව මේ කෑලිවලට ගැළපුවාම සම්පූර්ණ කතාවක් හැදෙනවා. ඉතින් අපි කියනවා, ‘දැන් රාජ් සෝමදේවගේ සොයාගැනීම්වලින් මේක තහවුරුවෙනවා’ කියලා. ඕක තමයි ඉතින් දැනට වෙලා තියෙන දේ. කාලයේ හා අවකාශයේ විවිධ තැන්වල තියෙන කොටස් එකම ආඛ්‍යානයක් හදලා එකට එකතුකරනවා. මහා වංශයේ ඒවාගේ දේවල් ඕනෑ තරම් තියෙනවා.
බටහිර හා ලංකාවේ ශිෂ්ටාචාරය
සාමාන්‍යයෙන් ලෝකයේ ශිෂ්ටාචාර මධ්‍යස්ථාන කිහිපයක් තියෙනවා. දැනට හොයගෙන තියෙන විදියට ලොකුම ශිෂ්ටාචාර හැදුණු තැන් තමයි, අරාබි මැදපෙරදිග පර්සියන් කලාපය, මෙසපොතේමියාව, චීනය සහ ඊජිප්තුව. ඊට අමතරව ඉන්දියාවේ මොහෙන්දජාරෝ හරප්පා යනාදියත් දියුනු ශිෂ්ටාචාර. දැනට පෙනෙන විදියට ලංකාව ඒ මට්ටමේ එකක්ය කියලා හිතන්න බැහැ. ලංකාවේ හමුවෙන්නේ කෘෂිකාර්මික ප‍්‍රජාවන්. පොඩි පාලකයෝ හිටි මැද මට්ටමේ ජනාවාස තියෙන්නේ. මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන කියන විදියට ක‍්‍රිස්තු පූර්ව තුන්වැනි ශතවර්ෂයේ විතර බ‍්‍රාහ්මි ශිලාලේඛනවලින් පෙනෙන්නේ ලංකාවේ නැගෙනහිර පළාතේ, අනුරාධපුර, වව්නියාව, කෑගල්ල වගේ පැතිවල පොඩි පොඩි පාලන ඒකක විශාල ප‍්‍රමාණයක් තිබුණු බවයි. අනුරාධපුරයේ බලය ලංකාව පුරාම පැතිරෙන්නේ සාමාන්‍යයෙන් ක‍්‍රිස්තු වර්ෂ පළවෙනි ශතවර්ෂයේ විතර, වසභගේ කාලයේ බවටයි තොරතුරු තියෙන්නේ. ගමේ ප‍්‍රජාවටම නඩත්තු කරගන්න පුළුවන් කුඩා ගම්වැව්, ඊට වඩා ටිකක් ලොකු වැව් හැරුණු විට ලංකාවේ විශාල වැව් නිර්මාණය වෙන්නේ වසභගේ කාලයෙන් පස්සේ. අනුරාධපුර රාජ්‍යය වර්ධනය වෙනකොට, ආදායම් ලැබීම සඳහා කෘෂිකර්මය ව්‍යාප්ත කිරීමට විශාල වැව් හදලා ගම්වැව්වලට ජලය බෙදා දෙනවා. මේ ගම්වැව් ආශි‍්‍රතව වී වගාකිරීම පිළිබඳ ඉතිහාසය පරණ වෙන්න පුළුවන්. විජයගේ කියන කාලයටත් එහා වෙන්න පුළුවන්. නමුත් ඒකේ ශිෂ්ටාචාරමය මට්ටම මොකක්ද කියලා හරියටම කියන්න බැහැ. පර්සියාව, මෙසෙපොතේමියාව, ඊජිප්තුව වගේ ශිෂ්ටාචාර ගැන භෞතික සාක්‍ෂි තියෙනවා. ලංකාවේ එහෙම දියුණු ඉහළ මට්ටමේ නාගරික ශිෂ්ටාචාරයක් ගැන භෞතික සාක්‍ෂි තියෙන්නේ සාමාන්‍යයෙන් ක‍්‍රිස්තු වර්ෂ 2-3 ශතවර්ෂවලින් පස්සේ. රුවන්වැලි සෑය වුණත් දැන් තියෙන ප‍්‍රමාණයට හැදූ බව පෙනෙන්නේ පස්සෙ කාලේ. ස්ථූපවල ප‍්‍රමාණයෙන් විනිශ්චය කරන්න පුළුවන් නාගරික ශිෂ්ටාචාරයේ වර්ධනයේ ප‍්‍රමාණය. පරිධියේ තිබෙන නිසා යාපනයේ කන්දරෝඩෙයි වගේ ප‍්‍රදේශවල දිගටම තියෙන්නේ කුඩා ස්ථූප. ඒත් අනුරාධපුරේ මුලින් කුඩා ස්ථූප පස්සේ විශාල කෙරුණා. ආක‍්‍රමණ එන්නේත් මධ්‍යයට. ආක‍්‍රමණවලදී ඒවා විනාශ වුණාම අලූතෙන් හදන්නේ තවත් විශාල කරලා.
පුරාවිද්‍යාඥයොත් පොඩි ඉඩක් දෙනවා
පුරාවිiාඥයන්ටත්, ජාතිකවාදය ගැන සහනශීලී හැඟීමක් තියෙන නිසා ඒ අයත් තමන්ගේ අදහස් කියන්නේ මේ මිථ්‍යාවන් හදන අයට පොඩි ඉඩක් දීලා. ඒ විදියට ඒ පුරාවිiාඥයොත් අර 83න් පස්සේ සිංහල බෞද්ධයන්ට අවශ්‍ය වෙන ‘මොඩිෆයිඞ් ෆැන්ටසි’ එකේ කොටස්කාරයෝ වෙනවා. ඒ මොඩිෆයිඞ් ෆැන්ටසි එකේ පුරාවිiාඥයා රාජ් සෝමදේව කියන්න පුළුවන්. ඔහුත් සම්පූර්ණයෙන් කියන්නේ නැහැ. ඔහු ටිකක් කියලා පොඩි කෑල්ලක් ඉතිරිකරනවා. ඉතින්, අර ජලිත අමරසිංහ, මිරැුන්ඩෝ ඔබේසේකර, ජැක්සන් ඇන්තනි වගේ අය හිඩැස් ටික සම්පූර්ණ කරනවා. දේශපාලන තන්ත‍්‍රයටත් මේක අවශ්‍යයි. දුටුගැමුණුත් ආවේ දකුණෙන්. රාජපක්‍ෂලාත් ආවේ දකුණෙන් කියනවානේ. මේකේ විහිළුසහගත ප‍්‍රකාශකයා තමයි ජැක්සන් ඇන්තනි. ජනාධිපති පේ‍්‍රමදාසගේ කාලේත් ඕවාගේ දේවල් ආවා. සයිමන් නවගත්තේගම පණ්ඩුකාභය නාට්‍යය හැදුවේත් ඒ කාලේ. පේ‍්‍රමදාසගේ ඉන්දියන් විරෝධී අදහස් නිසා ඔහුත් උදව් කළා මේ මහාවංශ නොවන ආඛ්‍යානයට. පේ‍්‍රමදාස හිටියේ ටික කාලයයි. නමුත් මේ පාලකයො දීර්ඝ කාලයක් සිටින නිසා මේ කතා හොඳින් තහවුරු කරනවා. ඒකට රාවණා නම ගත්තු විවිධ බලවේගත් එකතු වෙනවා. දෙමළ විමුක්ති ව්‍යාපාරයයි, ඉන්දියාවේ මැදිහත්වීමයි, දකුණු ඉන්දියාවේ ප‍්‍රශ්නයි කියන ඔක්කොම මධ්‍යයේ සිංහල බෞද්ධයා මුහුණපාන අනන්‍යතා ප‍්‍රශ්නයක් තියෙනවානේ. ඒ අනන්‍යතා ප‍්‍රශ්නයට හරියටම හරියනවා මේ රාවණා මිථ්‍යාව.
- See more at: http://ravaya.lk/?p=4229

1 comment:

  1. ඔබ කියන ඇතැම් දේවල්ද ..සමහර හිතලු මත ප්‍රකාශ කරන්නන් වැනිය..ඉතාමත් හොදින් වචන වලට මුවාවී..සිය අවිද්‍යාත්මක මතය ඉස්මතු කරගෙන තියෙනවා..ඇතැම් දේවල සැබැවින්ම ගත යුත්තක් තියෙනවා..එයට මා ස්තූතිවන්ත වෙනවා..කණගාටුවට කරුණු නම්.ඇතැම් දෙ කිසිදු ස්ත්‍යතාවයක් නොමැති වීමයි..

    ReplyDelete