Wednesday, October 29, 2014

රාවණා රජු ගැන සාක්කි නෑ


පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කියයි
සමිත් මධුරංග, සඳරැසී සුදුසිංහ
රාවණ රජු පිළිබඳ තරම් ලොව වෙනත් කිසිදු රජකුගේ තොරතුරු කතා නොකරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.
අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේ පෙරේදා (27දා) පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පැවැති ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව මඟින් සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මේ අවස්ථාවේදී මාධ්‍යවේදියකු විසින් රාවණ රජු පිළිබඳ දරන්නේ කුමන අදහසක් දැයි විමසූ විට අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ පිළිතුරු දෙමින් පවසා සිටියේ, රාවණ රජ සමය පිළිබඳ කියැවෙන ඉතිහාසය පුරාවිද්‍යාත්මකව අද වනතුරු ඔප්පු කිරීමට සාධක මෙතෙක් හමුවී නැති බවය.
බොහෝ දෙනකු කතා වන පරිදි රාවණ රජුගේ රාජ සමය ලෙස පවසන ක්‍රි.පූ. 6000දී පමණ මෙරට පැවැතියේ ඉතා ප්‍රාථමික අවධියක් බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවන බව ඔහු දක්වා සිටියේය.
බොහෝ දෙනකු පවසන පරිදි රාවණ රජු පිළිබඳ ලියැවුණු පුස්කොළ පොත් පිළිබඳ කීවද, ඒවා මෙතෙක් පුරාවිද්‍යාඥයන්ට හමුව නැති බවද ඒවායේ සඳහන්ව ඇතැයි පවසන උමං මාර්ග, න්‍යෂ්ටික අවි, දඬුමොනර ආදිය පිළිබඳ මෙතෙක් නිශ්චිත සාධක කිසිත් හමුනොවී ඇති බවද ඔහු කීවේය.
වැඩිදුරටත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ බොහෝ දෙනකු ලංකාවේ කුමන පළාතකින් හෝ උමඟක් හෝ ස්වාභාවික උමං මාර්ගයක් හමුවූ පසු එය රාවණ රජුගේ උමඟක් යැයි ප්‍රකාශ කිරීමට පටන්ගන්නා බවද රාවණ රජුගේ මව, පියා, බිරිය, සහෝදරයන්, පුත්‍රයන් වැනි සියලු තොරතුරු ප්‍රකාශ කරමින් තාර්කික නොවන ඉතිහාසයක් මැවීමට බොහෝ දෙනකු උත්සාහ ගන්නා බවයි.

No comments:

Post a Comment