Sunday, October 26, 2014

එල්.ටී.ටී.ඊ.යේ ජාත්‍යන්තර තහංචි ලිහිල්වීම ශ්‍රී ලංකාවට භයානක අනතුරක්‌!



යුරෝපා සංගමයේ පොදු අධිකරණය විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානයට පනවා තිබූ තහනම පසුගියදා ඉවත් කිරීම එල්. ටී. ටී. ඊ. සංවිධානයට තිබෙන ජාත්‍යන්තර තහංචි එකිනෙක අහෝසි වීමේ ක්‍රියාදාමයක ආරම්භයක්‌ බව විචාරකයන්ගේ මතයයි. මෙය ශ්‍රී ලංකාවට එල්ල කළ සරදමක්‌ සහ අභියෝගයක්‌ බව පවසන ආචාර්ය දයාන් ජයතිලක එල්. ටී. ටී. ඊ. යට පනවා ඇති ජාත්‍යන්තර තහංචි ඉවත් කිරීම ශ්‍රී ලංකාවට බලවත්
අනතුරක්‌ බව ද අවධාරණය කරයි.

යුරෝපයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනම පසුගියදා ඉවත් කළා?

එල්.ටී.ටී.ඊ. යට පනවා තිබූ තහනම ඉවත් කළේ යුරෝපා සංගමයේ අධිකරණයයි. මෙහිදී වරදකරුවා බවට පත්වී සිටින්නේ යුරෝපා සංගමයයි. ඇත්තවශයෙන්ම මෙය යුරෝපා සංගමය ගෙන තිබූ තිරණයකට එරෙහිව අධිකරණයක්‌ ගත් තීන්දුවක්‌. උදාහරණයක්‌ විදිහට ශ්‍රී ලංකාවේ උසාවියකින් ආණ්‌ඩුව ගත්තු තීරණයකට එරෙහිව තීන්දුවක්‌ දුන්නොත් එය ආණ්‌ඩුවේ ක්‍රියාවක්‌ නෙමෙයි. උසාවියේ ක්‍රියාවක්‌. මෙහිදී සිදුවුණෙත් එවැනි දෙයක්‌. ඇත්ත වශයෙන්ම මෙය යුරෝපීය පොදු අධිකරණයේ තීන්දුවක්‌.

ශ්‍රී ලංකාවට හෝ යුරෝපා සංගමයේ රටවල්වලට මේ තීන්දුව ප්‍රකාශයට පත්වීම වළක්‌වා ගන්න බැරිවුණේ ඇයි?

යුරෝපා සංගමයේ රටවල් මීට වඩා ක්‍රියාශීලීව සාක්‍ෂි ගොනු කරල ඉදිරිපත් කළා නම් සමහරවිට මේ තීන්දුව ප්‍රකාශයට පත්වීම වළක්‌වාගත හැකිව තිබුණා. ශ්‍රී ලංකා ආණ්‌ඩුවත් මීට වඩා සාර්ථකව සාක්‍ෂි ගොනු කරල යුරෝපා සංගමය හා එහි සාමාජික රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු හරිහැටි කළමනාකරණය කළා නම් මේ තීන්දුව වළක්‌වා ගන්න තිබුණා. යුරෝපා සංගමයේ සාමාජික රටවල්වල අදාළ ආයතන මේ උසාවිය හමුවට ගොස්‌ මේ ප්‍රශ්නය ගැන එතරම් සැළකිල්ලකින් කරුණු ඉදිරිපත් කරල නැත්නම් එයට හේතුව ශ්‍රී ලංකා ආණ්‌ඩුව මේ වැදගත් ප්‍රශ්නයේදී යුරෝපා සංගමයේ සාමාජික රටවල් සමඟ නිසි ලෙස කටයුතු නොකිරීමයි. ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ රටවල් හරි හැටි කළමනාකරණය කරන්නේ නැත්නම් මේ ප්‍රශ්නයේදී එම රටවල් කරඇරියා වන්නත් පුළුවන්. මා එය ස්‌ථිරවම කියන්නේ නෑ. උපකල්පනයක්‌ පමණයි. එක්‌කො මේක දේශපාලන තීන්දුවක්‌, නැත්නම් ශ්‍රී ලංකාව හා ලංකාණ්‌ඩුව ගැනත් යුද්ධය හා කොටි සංවිධානය ගැනත් ඔවුන් දරණ මතයන්වල සිදුව ඇති අහිතකර ප්‍රතිඵල නිසා ඇතිවූවක්‌. මෙයින් පෙනෙන්නේ යුරෝපයේ අද වාතාවරණය ශ්‍රී ලංකාවට අවාසි වන ලෙසට සහ කොටි සංවිධානයට වාසි සහගත වන ලෙසට වෙනස්‌ වෙමින් පවතින බවයි.

මේ තීන්දුව පිළිබඳ යුරෝපා උසාවිය කළ විග්‍රහයේදී එල්.ටී.ටී.ඊ. ය තහනම් කර තිබුණෙ අන්තර් ජාලයෙන් හා පුවත්පත්වලින් ලබාගත් සාක්‍ෂි මත බව ප්‍රකාශ කළා. නමුත් එල්.ටී.ටී.ඊ. ය කළ බිහිසුණු අපරාධ දෙස බලන විට ඔවුන් ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ බවට පෙන්වාදීමට සාක්‍ෂි ඕනෑතරම් තිබෙනවා?

ලංකාණ්‌ඩුව මේ උසාවි ක්‍රියාවලිය හරි හැටි නිරීක්‍ෂණය කර අවශ්‍ය කාර්යක්‍ෂමතාවයෙන් යුතුව ඊට මැදිහත් නොවූ බව එයින්ම පෙනෙනවා. එල්.ටී.ටී.ඊ. යට එරෙහිව සාක්‍ෂි එකතු කිරීමේ දී යම් ඌනතාවයක්‌ සිදුවී තිබෙන බව උසාවිය කළ එA ප්‍රකාශයෙන්ම පැහැදිළියි 2006 දී කොටි සංවිධානය තහනම් කළ අවස්‌ථාවේ දී එවැනි සාක්‍ෂි සෑහෙන ප්‍රමාණයක්‌ තිබුණා. ඒ තහනම සිදු කළේ හිටපු විදේශ අමාත්‍ය ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට ප්‍රතිචාර දැක්‌වීමක්‌ හැටියටයි. එවකට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ව සිටි පලිහක්‌කාර මහතා විසින් ශ්‍රී ලංකාවේ ඒ උත්සාහය ඉතා හොඳින් කළමනාකරණය කළා. ලක්‍ෂ්මන් කදිර්ගාමර් මහතාගේ වැන්දඹුව වූ සුගන්ධිකා කදිරගාමර් මහත්මිය ජාත්‍යන්තර සංවිධානයක නීතිය පිළිබඳ නිලධාරිනියක ලෙස සිටි නිසාත් ඇය පෞද්ගලිකව සියලු රටවලට ගොස්‌ එතුමියගේ මියගිය සැමියාගේ මිතුරන් සියලුදෙනා හමුවී එහි ඉහළ මට්‌ටමේ සිටි මිතුරන් මේ මතයට නම්මවාගෙන කොටි සංවිධානය තහනම් කිරීමට විශාල කාර්යභාරයක්‌ සිදුකළා. සුගන්ධිකා කදිරගාමර් මහත්මිය මේ ආණ්‌ඩුව විසින් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම්වලට පාවිච්චි නොකිරීම විශාල දුර්වලකමක්‌. මෝඩකමක්‌.

2006 එල්.ටී.ටී.ඊ.ය තහනමට කදිරගාමර් මහතාගේ ඝාතනය මූලික වුණත් 2014 වනවිට එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් ප්‍රාථමික සාක්‍ෂි විශාල ප්‍රමාණයක්‌ ලංකාණ්‌ඩුව අතේ තියෙනව. මේ ප්‍රාථමික සාක්‍ෂි ඉතා හොඳට ගොනුකර යුරෝපා සංගමයේ සියලු රටවල අදාළ ආයතනවලට භාරදී ඔවුන් ලවා මේ යුරෝපා අධිකරණයට ඒවා ඉදිරිපත් කරවන්නට අවස්‌ථාව තිබුණා. ලංකාණ්‌ඩුව එය කිරීමට උත්සාහ නොකිරීම හෝ කළා නම් ඒ උත්සාහය අසාර්ථක වූ බව මේ නඩු තීන්දුවෙන් පැහැදිලිව පෙනෙනවා.

මේ නඩු තීන්දුව එල්.ටී.ටී.ඊ. සංවිධානය කොයි විදිහට ප්‍රයෝජනයට ගනියි ද?

මෙය එල්.ටී.ටී.ඊ. සංවිධානය ලැබූ විශාල ජාත්‍යන්තර ජයග්‍රහණයක්‌. ඕනෑම රටක උසාවි ක්‍රියාවලියක්‌ ගත්විට එක උසාවියකින් දෙන තීන්දුව වෙනත් උසාවියකදී හෝ පසු කලෙක එම උසාවියේදීම වුවත් පූර්ව නිදර්ශනයක්‌ ලෙස ගත හැකියි. යුරෝපා පොදු උසාවියේ ගත් මෙම තීන්දුව යුරෝපයේ ඒ ඒ රටවලත් ඇමරිකාව ඇතුළු වෙනත් රටවලත් උසාවිවලට පූර්ව නිදර්ශන හැටියට එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව එල්.ටී.ටී.ඊ.යට එරෙහි තහංචි එකින් එක ගැලවී යැමේ බියකරු ක්‍රියාවලියක මේ ආරම්භය විය හැකියි. ඒ අතරවාරයේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ඡන්දවලින් ශ්‍රී ලංකාව වසර තුනක්‌ පිට පිට පරාජය වීම නිසා ශ්‍රී ලංකාව එක්‌සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පරීක්‍ෂණයකට ලක්‌වෙලා තිබෙනවා. කොටි සංවිධානය මත ඇති ජාත්‍යන්තර තහංචි එකිනෙක ලිහිල්වෙද්දී තව මාස කිහිපයකින් ශ්‍රී ලංකාව මතට තහංචි පැනවීමේ තත්ත්වයක්‌ මතුවන්නට පුළුවන්. මෙය විශාල සරදමක්‌ මෙන්ම ෙ€දවාචකයක්‌.

මේ තහනම ඉවත් කිරීම නිසා අපේ රටට එල්ලවෙන තර්ජනය කෙබඳු එකක්‌ද?

මේ තහනම ඉවත් කිරීමෙන් එල්ලවන්නේ යුදමය තර්ජනයක්‌ නොවෙයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට යළි යුදමය වශයෙන් සංවිධානය වීමට බටහිර රටවල් හෝ ඉන්දියාව හෝ ඉඩදේ යෑයි සිතිය නොහැකිය. නමුත් මූලෝපායික වශයෙන් ශ්‍රී ලංකාවට මෙයින් විශාල තර්ජනයක්‌ එල්ල වෙනවා. එල්.ටී.ටී.ඊ. ය යළි උණුසුම් යුද්ධයකට එළඹේ යෑයි සිතන්න බෑ. ශ්‍රී ලංකාවට එරෙහිව උණුසුම් යුද්ධයක්‌ එල්ල වන්නේ නම් එය දියත් වන්නේ ජාත්‍යන්තර හා කලාපීය බලවතුන් විසිනුයි. එයත් සිදුවන්නේ දෙමළ ඩයස්‌පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර හා කලාපීය බලවතුන් සාර්ථකව මෙහෙයවීමට සමත් වුවහොත් පමණි. කොටි ඩයස්‌පෝරාවේ ඉලක්‌කයත් එවැනි තත්ත්වයක්‌ කරා යැම බව සිතීමට ඕනෑ තරම් සාක්‍ෂි තිබේ. දේශීය වශයෙන් කරන යුද්ධයකින් ශ්‍රී ලංකාව පැරදවිය නොහැකි බව දෙමළ ඩයස්‌පෝරාව දැන් වටහාගෙන හමාරය.

ජාත්‍යන්තර හා කලාපීය බලවතුන් මෙහෙයවා උණුසුම් යුද්ධයකින් ශ්‍රී ලංකාව පරාද කිරීමට නම් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ හා ජාත්‍යන්තර නීතිය තුළ මෙන්ම ජාත්‍යන්තර සිවිල් සමාජය හෙවත් ජාත්‍යන්තර ජනමතය තුළ ඔවුන්ට වාසිදායක වාතාවරණයක්‌ ඇතිකර ගත යුතුය. එම උත්සාහයට අප කියන්නේ සීතල යුද්ධයක්‌ කියායි. පසුගිය වසර කිහිපය දෙස බලද්දී පෙනෙන්නේ ලංකාණ්‌ඩුව උණුසුම් යුද්ධයෙන් ජයග්‍රහණය කළත් සීතල යුද්ධයෙන් පරාජයෙන් පරාජයට පත්වී ඇති බවයි. යුරෝපා අධිකරණය ලබාදුන් මේ තීන්දුවත් සීතල යුද්ධයෙන් පරාද වෙමින් සිටින අපේ රට ලැබූ තවත් පරාජයක්‌. උණුසුම් යුද්ධයකින් කළ නොහැකි බොහෝ දේ සීතල යුද්ධයකින් කළ හැකි බව ලෝකය දෙස අද බලනවිට පැහැදිලි කාරණයකි. හිට්‌ලර්ගේ හමුදාවට පරාජය කරන්නට බැරි වූ සෝවියට්‌ දේශය එක වෙඩිල්ලක්‌වත් පත්තු නොකොට දිය වී යන තැනට පත්වූණේ සීතල යුද්ධයෙන් සෝවියට්‌ දේශය පැරදුණු නිසාය. සීතල යුද්ධයෙන් සෝවියට්‌ දේශය සහ නැගෙනහිර ජර්මනියත් පරාජයට පත්වුණේ ඕනෑවට වඩා මෘදු පාලනයක්‌ ඇති කිරීම නිසා නොව ඕනෑවට වඩා තද පාලනයක්‌ ඇතිකර ඒ තද පාලනය මානවයාගේ නිදහස පිළිබඳ හැඟීම්වලට පටහැනි වූ නිසාය.

සීතල යුද්ධය ජයග්‍රහණය කරන්නට නම් එය ඉලක්‌ක කරගත් රාජ්‍යයේ ප්‍රතිරූපය අවලක්‍ෂණ විය යුතුය. එය බාහිර වශයෙන් කළ හැක්‌කක්‌ නොවේ. කියුබාවට එරෙහිව ඇමරිකාව කොපමණ පියවර ගත්තත් කියුබාවට එරෙහිව කිසිදු ජයග්‍රහණයක්‌ ලබා ගන්නට ඇමරිකාවට බැරි වුණේ ඒ නිසයි. ඒ කියුබාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ඉතාමත් කීර්තිමත් නිසයි. ශ්‍රී ලංකාව සීතල යුද්ධයෙන් පරාජයෙන් පරාජය ලබන්නේ එක අවස්‌ථාවක්‌ හැරුණුවිට ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය දේශීය බලවේග සහ ආණ්‌ඩුවේ කටයුතු නිසා ඉතාමත් අවලස්‌සන ආකාරයට ඉදිවී ඇති බැවිනි. ඒ එකම අවස්‌ථාව නම් 2009 මැයි 26 - 27 එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය, ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනෙන්නට උත්සාහ දැරූ බටහිර යෝජනාව පරාජය වූ අවස්‌ථාවේදීය. ඒ අවස්‌ථාව හැරුණු විට අනෙක්‌ හැම අවස්‌ථාවකදීම ජාත්‍යන්තර රණබිමේ ශ්‍රී ලංකාව පරාජයෙන් පරාජයට පත්වී තිබේ. මේ යුරෝපා උසාවි තීන්දුවෙනුත් අපට පෙනෙන්නේ සීතල යුද්ධයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පරාජයට පත්වීමේ භයානක තත්ත්වයක්‌.

මේ යුරෝපා අධිකරණ තීන්දුව ආපසු හරවන්නට ශ්‍රී ලංකා රජයට ගත හැකි ජාත්‍යන්තර ක්‍රියාමාර්ග තිබෙනවාද?

ඕනෑම අධිකරණයක අභියාචනා ක්‍රියාවලියක්‌ තිබෙනවා. මේ අභියාචනා ක්‍රියාවලියට ශ්‍රී ලංකාව මැදිහත් විය යුතුයි. ඒ සඳහාත් ක්‍රම දෙකක්‌ තිබෙනවා. සෘජුවම මැදිහත් වීම එක ක්‍රමයක්‌. යුරෝපා රටවල් හරහා අභියාචනයක්‌ ඉදිරිපත් කිරීම තවත් ක්‍රමයක්‌. මේ ක්‍රියාදාමයන් දෙකම සමාන්තරව පාවිච්චි කිරීම මේ මොහොතේ ප්‍රඥවන්ත ක්‍රියාදාමයයි.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක

http://www.divaina.com/2014/10/26/politics03.html

No comments:

Post a Comment