Sunday, November 2, 2014

අඩි 35ක් යට 350ක් කන්ද පීරා 'මව්බිම' සොයාගත් ඇත්ත මෙන්න


සමාවන්න   ,ඔබ, වැළලෙමින් මිය යවනු ලැබූ බිම්කඩ මත, දණක් මඩෙහි එරෙමින් ඇවිද යෑමට සිදුවීම ගැන.වියෝවෙන් වැළපෙන තාත්තා කෙනෙක් මෙසේ කියමින් සිටියි."සමහරවිට මේ සිටගෙන සිටිනුයේ මඩට යටවූ දරුවාගේ මළ සිරුර මත වීමට පුළුවන්."මිය යවනු ලැබූවන්ගේ පපුවෙහි ගැස්ම නැවතී ඇත. මියයවනු නොලැබූවන්ගේ පපුවෙහි ගැස්ම ලබ් ඩබ් ස්වරයෙන් ඇසෙමින් තිබෙයි. එය ඉතා රහසිගත තොරතුරක් හෙළිකරමින් සිටියි.මියයවනු ලැබූවන්ට, මියයවනු නොලැබූවන්ගේ පපුවෙහි ගැස්ම නොඇසෙන බව ඇත්තය. මියයවනු නොලැබූවන්ට, මියයවනු ලැබූවන්ගේ පපුවෙහි ගැස්මද නොඇසෙන බව ඇත්තය.


දුක වපුරා වැලපෙන මවකගේ මුවින් වදන් නික්මෙයි.
කෑමවල වටිනාකමක් තිබෙනුයේ බඩට, බඩගිනි දැනෙනකම් පමණි.
අඬන, ‍ෙදාඩන, වැලපෙන හදවත් පණිවුඩ දෙමින් සිටියි.
මරණය වූ කලී යදින සිඟමනක් නොවේ. දෙනු ලබන සිඟමනක්ද නොවේ. නමුත්, මරණය සිඟමනට පත්ව සිටියි. මේ නම් ආශ්චර්යයකි. එහි වරද වනුයේ එය ලංකාවේ ආශ්චර්යයක් වීමයි. එම ආශ්චර්යය යමක් කියයි.
මරණය යනු, ජීවිතය තුළ ගන්නා අවසන් ආහාර වේලත්, අවසන් හුස්ම පොදත් අතර වන කාලයයි. මෙතුළ තිබෙනුයේ අර්ථය අර්ථ ගන්වන ජීවිතයන්ය. එම අර්ථය තුළ තිබෙනුයේ නිදිගන්වන ජීවිත පමණකි.


අවතැන් කඳවුරු ගෙනහැරපාන දසුන් හද කකියවයි. එතුළ දවාලටත්, රාත්‍රියටත් නිදාගන්නවුන් පෙළගස්වා තිබෙනුයේ පොදු මරණයක අවසන් ගමන යෑමට ප්‍රාණය නිරුද්ධ සිරුර පෙළගස්වා තිබෙන ආකාරයටයි. මෙතුළ වන වෙනස වනුයේ මළවුන් මළවිට පොළොව යට වැළලීමත්, නොමළවුන් ජීවත් වන විට පොළොව මතුපිට වැළලීමත් පමණි.
මෙය ඉතා වැදගත් පාඩමක් කියාදෙයි.
වෙනස්වන්නාවූ ලෝකයේ, නොවෙනස්වන්නාවූ එකම දෙය මරණය නම්, මෙම මිනිසුන් සඳහා වන මරණයද වෙනස්වීම සැබෑම සැබෑ වෙනසකි.
මෙම දසුන් දැකීමද දුක්බරය. දුක්බර දසුන් දැකුමට පින්කර දෙනෙත් පව්කර තිබීමද අවාසනාවකි. නමුත්, දෙනෙතට පින්, පව් කියා දෙයක් නැත. දෙනෙතට අවශ්‍ය වනුයේ දැකීම පමණකි. දකින එම දසුන් පින්බරද, පව්කාරද යන්න දේශපාලනය මඟින් තීරණය කරනු ඇත.
එම දේශපාලනය සාමාන්‍ය ජනතාවට දුකකි. දේශපාලකයන්ට නම් පිනකි. එය එසේ වනුයේ දේශපාලකයන් ජනතාවගේ දුක පින්බර ඇසකින් බලන නිසාය.


අවතැන් කඳවුරු තුළ ඇස් දෙකට පෙනෙන දසුන් ඉතා දුක්බරය. පුංචි උන් මවුපිය තුරුලේද, මවුපියන් පුංචි උන් තුරුලේද ගුළිවී නිඳින නින්ද, කුමන අන්දමේ සාපයක් අර්ථ ගන්වෙන්නේද?
අභාග්‍යයක මහත,
තමන්ගේ එකාගේ තුරුලේ උණුසුමට මෙතුවක් කල් නිදා ගත් අය, අද අනුන්ගේ එකාගේ තුරුලේ සීතලට ගුළිවී නිදාගනිමින් සිටිති.
ජීවිතය අපූරුය. එම අපූරු බව දුකකි. එම දුක කියාපානුයේ වෙනස්කමේ සංකේතයයි. එම සංකේතය වූ කලී සමස්ත ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රතිපත්ති තීරණයයි. මේ එම දේශපාලන ප්‍රතිපත්ති මත ගත් තීරණයන් හේතුවෙන් උපන් කතාවයි.
පළමුව අවතැන්වූවන්ගේ මානසික මට්ටම ශක්තිමත් කළ යුතුව තිබේ. ඔවුන් දැනට පසුවනුයේ තමන්ට, තමන්වත් හඳුනාගත නොහැකි තත්ත්වයකයි. ආධාර උපකාර කරන්නා පළමුව වටහාගත යුතු කරුණක් තිබේ. මෙවන් මොහොතකදී තමන්ගේ ජීවිතයත්, තමන්ගේ ලේ නෑයන්ගේ ජීවිතවලින් කිහිපයකුත් ඉතිරිව ඇතැයි යන බලාපොරොත්තුව හැර වෙන යමක් ඔවුන් තුළ නොමැති බවයි.


මොවුන් නඟාසිටුවීම සඳහා වන වැඩපිළිවෙළ හඳුනා ක්‍රමානුකූලව දියත් නොකිරීම තුළ ඔවුන්ගේ ජීවිතය පිළිබඳ තිබෙන අවසන් බලාපොරොත්තුවත් මියැදීමට බොහෝ දුරට ඉඩ තිබේ.
මේ තුළ ඔවුනට දැනට අවශ්‍ය වනුයේ සිත තුළ ඇති බිය පහව යන ලෙසින් නිර්මාණය කළා වූ පරිසරයක්. රැකවරණයක්. මරණ බයින්, තැතිගැන්මෙන් තොරව හුස්ම ටික ගැනීමේ විශ්වාසදායී ආරක්ෂාකාරී වටපිටාවක්. එය නිවැරැදිව සැකසීම තුළ අවතැන්වූවන් නිදහසේ හුස්ම ගනු ඇත. එවිට, නිදා ගන්නාවිටත්, අවදිව සිටින විටත් උසුලාගනු නොහැකිව හෙළන සුසුම එලෙසම තිබියදී නිදිබරව පියවෙන ඇහැ පියවා සීතල පොළොවේ පැදුරක, රෙද්දක නිදහසේ ඇලවෙනු ඇත. එය ආරක්ෂා සහිත බව දැනෙනාවිට බඩගින්නට දෙනු ලබන යම්කිසිවක් බඩට දමාගනු ඇත. මෙන්න මෙයයි ඔවුනට ඇති කළ යුතුව තිබෙන ඔවුන් නොවන අනෙකා පිළිබඳ වන විශ්වාසය. අවතැන්වූවන් සම්බන්ධව කටයුතු කරන පහළ මට්ටමේ සේවකයෙක් මෙසේ ප්‍රශ්න කරයි.

"ඔව්. ප්‍රශ්නයක් තියෙනවා. මේ අය තව දින දෙකක් හෝ තුනක් මෙහි මේ විදියට තබාගත හැකියි. එම දින දෙක තුනේ කෑමබීම, කිරිපිටි, බෙහෙත් ලබා දිය හැකියි. නමුත් ප්‍රශ්නය වනුයේ කරන්නේ කුමක්ද යන්න පිළිබඳව. තවමත් පළමු දින තුනෙන් පසු කළ යුතු දෙය ගැන පූර්ව සැලැසුමක් නෑ.
මෙම අයගේ ප්‍රශ්න දැනට හඳුනා ගනිමින් පවතිනවා. ඒ ලොකු ප්‍රශ්න. මධ්‍යම ප්‍රශ්න. කුඩා ප්‍රශ්න වශයෙන්. මෙතැනදී පළමුව අවධානය යොමු කරනුයේ ලොකු ප්‍රශ්න පිළිබඳවයි. ලොකු ප්‍රශ්න ලෙසට දැනට හඳුනාගෙන තිබෙනුයේ මවුපියනට දරුවන් අහිමි වීම, දරුවන්ට මවුපියන් අහිමිවීම, පවුලේ අය අහිමි වීම කියන කාරණය".
මේ නායයෑම විමසා බැලීමේදී පෙනෙන කරුණක් වනුයේ නාය යෑම දෙකට බෙදී ඇති බවයි. ඒ නාය යෑමෙන් එපිට ඉස්කෝලයකි. නාය යෑමෙන් මෙපිට ගෙවල්ය. මේ තුළ ඇති දුක්බර කතාව වනුයේ මෙයයි.
"උදේ පාසල ඇරැඹීමට ප්‍රථම, නාය යෑමට මත්තෙන් පාසල් ගිය දරුවන්ට ආපසු ඒමට ගෙදරක් නෑ. ගෙදර යැයි අනුමාන කළ හැකි සුන්බුන් අසලට පැමිණියත් එතුළ අම්මා, තාත්තා නෑ.


තවමත් මෙම කන්ද නාය යමින් පවතිනවා. ඒ වගේම තමයි දියගල වත්ත. එය නාය යෑමේ පූර්ව ලක්ෂණ පෙන්නුම් කරවනවා. ඒ තුළ මහ පොළොව කොයිබකින්, කොයිවෙලාවක, පහත්වේද, කොයි වෙලාවක කඩාගෙන යයිද කියන්න බෑ. එහෙම වුණොත් ඒ යන්නෙ මිනිස් ජීවිතත් එක්ක. හැබැයි ඒ ජීවිත අපේ.
මෙතුවක් කල් නාය යෑම තුළ සිදුව තිබෙනුයේ වචන හුවමාරුවක් පමණයි. එම වචන හුවමාරුව තුළ හුවමාරුවූ වචන වනුයේ අපි කලින්ම දැනුම් දුන්නා, අපිට දැනුම් දුන්නේ නෑ, ඒ අය ගියේ නෑ, යන්න තැනක් දුන්නේ නෑ" කියන වචන සමූහයයි.
මෙය කියාපානුයේ කිසිවකුත්, කිසිවිටෙක වටහා නොගන්නා කාරණයකි. ඒ වචන හුවමාරුව තුළ එක් පාර්ශ්වයක් දිනන විට අනෙක් පාර්ශ්වය ලබනුයේ පරාජය නොව මරණය වන බවයි.


"අපිට යන්න කිව්වානම් යනවා. ඒකට විකල්ප ඉඩම් දෙන්න ඕන. ඒවා සුදුසු වෙන්නත් ඕන. එහෙම වුණානම් නොයා ඉන්නේ නෑ. එහෙම ඉඩම් දීලා නොගිහින් හිටියනම් ආණ්ඩුවට බැරිද ඒ අය බලෙන් ඉවත් කරන්න. ආණ්ඩුවත් එක්ක ජීවත්වෙන ජනතාව, ආණ්ඩුවෙන් පාලනය වන ජනතාව අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ දෙනකොට එයින් ගලවා ගැනීම වරදක්ද? මේකෙන් කියන්නේ වගකීම්, යුතුකම් කළ යුතු අය ඒ වගකීම්, යුතුකම් පැහැරහැරියා කියලයි.
මේ මෙම ස්ථානයේ සිදුවූ දෙවැනි නායයෑම. පළමු නායයෑමේ අත්දැකීම් ගොඩයි. ඒ තුළ තිබෙනුයේ මහා දුකක්. රජය ඒ ගැන සොයා බැලුවේ නෑ. ඒ තුළ දෙවැනි නාය යෑමත් සිදුවුණා.


දෙවැනි නායයෑම තවමත් ක්‍රියාත්මකයි. නමුත් දැනට සිදුවනුයේ ප්‍රකාශ නිකුත් කිරීමත් උපදෙස් දීමත් පමණයි. මේක ලැජ්ජාවට කාරණයක්.
මේක විසඳන එක නම් සිම්පල්. එක ගැසට් පේපර් එකකින් මේක විසඳිය හැකියි. මේ ප්‍රදේශයේ තිබෙනවා රජයට අයත් ඉඩම් අක්කර හතළිස් දාහක්. ඒවා රක්ෂිත වනාන්තර. මේ රක්ෂිත වනාන්තර ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයෙන් පරීක්ෂා කර බලා කියා තිබෙනවා ඒවා අනතුරුදායක රහිත බව. ඒ තමයි පළමු සුදුසුකම. ස්වාභාවිකවම උරුම වන මරණය තෙක් අතුරු ආන්තරාවකින් තොරව නොමැරී ජීවත්වීමට සුදුසු බිම්කඩ උදෙසා වන සහතිකය. මේ රජයේ රක්ෂිත වනාන්තරවලින් අක්කර දහයක් අරගෙන එක පවුලකට පර්චස් දහය ගණනෙ බෙදුවනම් මේ මියගිය මිනිසුන් අදටත් ජීවත් වෙනවා. හැබැයි කන්ද නම් නායයාවි.
නමුත් මේක ඇතුළෙ කියන්න බැරි වුණත් කිවයුතු කතාවක් තියෙනවා. ඒ ඉහළ ස්තර වන දේශපාලකයනුත්, පහළ ස්තරය වන රජයේ නිලධාරිනුත් අතර තියෙන ලේයර් එක. එම ලේයර් එක නිල් කරන්න, කඩා දමන්න රජයේ නිලධාරීන් වරම් නෑ. එහෙම කළොත් ජීවිතේ නිල්වෙලා යනවා."


මෙතැන තවත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ හඳුනාගත් ලැබූ සැබෑ ප්‍රශ්නයයි. ඒ රජයේ ඉඩම් සම්බන්ධයෙන් වන පනතයි. එහි දක්වා ඇත්තේ රජයේ ඉඩම් බෙදා දිය යුතු ආකාරය පිළිබඳවයි. ඒ අනුව රජයේ ඉඩම් දිය යුත්තේ අඩු ආදායම්ලාභී ගොවි පවුල් අතර පමණයි.
මෙම අඩු ආදායම්ලාභී ගොවි පවුල් කියන වගන්තිය මෙතැනදී මේ අයට හරහට හිටිනවා. අඩු ආදායම්ලාභී කියන සීමාව වෙන්නෙ රුපියල් හයදාහේ සීමායි. මේ වතුකරයේ ජනතාව ලබන වැටුප රුපියල් හයදාහ ඉක්මවයි. ඒ පළමු බාධකයයි. දෙවැන්න වනුයේ වතුකරයේ ජනතාව කම්කරුවන් ලෙසින් වන හැඳින්වීමයි. මේ දෙවැනි බාධකය. මේ බාධා දෙක කියාපානුයේ වතුකර ජනතාව එම ඉඩම්වලට හිමිකම් කීමේ වරමින් බැහැරවන බවයි.


"නමුත්, මෙම බාධකයයි ඉවත් කිරීමට රජයට හැකියාවක් තිබෙනවා. ඒ මෙම පනතට සුළු සුළු වෙනස්කම් එකතු කිරීම. එය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ එකඟතාවකින්.
මේ වෙද්දි මේ ජනතා ප්‍රශ්නවලට ක්‍රියාත්මක වෙමින් ඉන්නවා රජයේ සේවයේ පහළ නිලධාරීන්. ඔවුන්ට ඇටර්නි බලයක් නෑ. ඒ බලය තිබෙනුයේ අමාත්‍යංශ ලේකම්වරුන්ට. දේශපාලකයන් කටයුතු කරනුයේ මේ වගේ ප්‍රශ්නවලදී එම ලේකම්වරු හරහා. එහි තේරුම මෙම ප්‍රශ්නය මතුපිටින් පමණක් බලන බවයි.
මේ වගේ ප්‍රශ්න වෙනත් රටවලත් තියෙනවා. මේ වගේ දේවල් වෙද්දි ඒ රටවල නායකයන් වහා ක්‍රියාත්මක වෙනවා. ඒ එම රටවල තියෙන නිවැරැදි ප්‍රතිපත්ති නිසයි. සමහර අනතුරුදායක අවස්ථාවලදී ඔවුන් ඉතා විශාල ප්‍රදේශ සම්පූර්ණයෙන්ම මිනිසුන්ගෙන් හිස් කරලා තිබෙනවා."


ඇත්තය. කාරණය වනුයේ මෙම නායයෑම තුළ පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව තවමත් නිවැරැදිව හඳුනා ගැනීමට නොහැකිවීමය. දැනට තිබෙන අවතැන්වූ මධ්‍යස්ථානවල සිටිනුයේ කොටස් කිහිපයක මිශ්‍රණයකි. ඒ නායයෑමට හසුවූවන්ගේ පවුල්, නායයෑමට ලක්වෙතැයි විශ්වාස කරන ස්ථානයන්හි පවුල් වශයෙනි.
දැනට මෙහි සිදුවන මුල් පියවර වනුයේ අවතැන් කඳවුරුවලට පැමිණෙන්නන් නම් ගම් වශයෙන් ලියාපදිංචිය පමණයි. එතැනදී සටහන් කර ගන්නා දෙයක් වනුයේ අවතැන්වීමට පෙර පදිංචිව සිටි ස්ථානය පිළිබඳ වන හැඳින්වීමයි. ඒ අනුව එම සංඛ්‍යා ලේඛනත්, මුල්ම සංඛ්‍යා ලේඛනත් සස¼දා බැලීමක් කළ යුතුයි. එහිදී මතුවන වෙනස අනුවයි මියගිය ගණන පිළිබඳ තීරණයක් ගත හැක්කේ.


"මේ මොහොත වන විට මෙම අය පත්ව සිටිනුයේ දැඩි කම්පන තත්ත්වයකට. එම කම්පන තත්ත්වය තුළ ඔවුන්ට තමන් ගැනවත් පැහැදිලි තොරතුරක් ලබා දීමට හැකියාවක් නෑ. මෙතැනදී මොවුන් සම්බන්ධයෙන් සේවය සලසන්නන් පත්වනුයේ අසීරු තත්ත්වයකට. එහිදී අනුගමනය කළේ වෙනත් ක්‍රියාමාර්ගයක්. ඒ ඔවුන්ගේ ඥාතීන්ට සහ අසල්වැසියන්ට අවතැන් කඳවුරු තුළට පැමිණ ඔවුන් හඳුනා තොරතුරු ලබා ගැන්මට සහාය වන ලෙස. මෙම කටයුත්ත තරමක් දුරට සාර්ථකයි. නමුත් බලාපොරොත්තු වූ තරම් සාර්ථක වූයේ නෑ.
කියන්න තරමේ කනගාටුදායක දෙයක් තිබෙනවා. මේ සිද්ධිය දැනගත්තාම ආපු සමහර දේශපාලකයන් මෙහි පැමිණියා. එවැනි අය ආවේ අවතැන්වූවන්ට යමක් ලබා දෙන වුවමනාවෙන් නොවෙයි. සංචාරය කිරීමේ අරමුණකින්.


අවතැන්වූවන්ට ඉඩම් ලබාදුන් බවට තොරතුරු හැම අතින්ම වාර්තා වෙනවා. මේ ඒ එක් අවස්ථාවක්. එක වරක් ඉඩම් කැබැලි වගයක් ලබා දුන්නා. ඒ ලබාදුන් ඉඩම් පිහිටා තිබුණෙත් නායයෑමට ලක්වන ප්‍රදේශයක් තුළයි. මේ ගැන කොච්චර පැහැදිලි කර දුන්නත් එය පිළිගත්තේ නෑ.
මේ ප්‍රදේශයේ පොළොව මත ජීවත්වන්නේ අපි. පොළොවේ හැම ඉසව්වක්ම දන්නේ අපි. පොළොවේ තැනකින් වතුර උනනවා නම් අපි දන්නවා එය අනතුරක් බව. පොළොවේ තැනකින් ඒ පස් කඩාගෙන වැටෙනව නම් අපි දන්නවා ඒක එහි ජීවත්වන ජනතාවට හානියක් බව. ඒ වගේ අවස්ථාවකදී අපි මොනවද කරන්නේ.
වහිනකොට ඇතිවන අනතුරුවලට බයේ වැස්ස නවතිනකම් කොහේ හරි ගාලක ගාල්වෙලා ඉඳලා වැස්ස පෑවුවාම ආපසු කලින් හිටිය තැන්වලටම එන්න වෙනවනම් මොකද්ද මේ වගකිවයුතු අය අපිත් එක්ක කරන මේ හැංගිමුත්තන් සෙල්ලම. හොරා පොලිස් සෙල්ලම."


මෙච්චර කල් මේවා ගැන කතා කළේ කවරෙක්ද? මෙම වගකීම තමන් සතු වගකීමක් බව සිතාගෙන කටයුතු කළේ කවුරුන්ද? දැන් මේ ඉදිරිපත්වන වගකිවයුත්තන් මේ ප්‍රශ්නය අවසානයක් වනතෙක් කටයුතු කරනවාද? මේ ප්‍රශ්නවලට දෙන පිළිතුරු මොනවාද?
මේ අයට අද දවසක් කියා දවසක් හෙට දවසක් කියා දවසකුත් නැත. ඒ වුණත් දවස ගෙවෙයි. ඒ ගෙවෙන දවසක් ගාණේ අමුත්තෝ එනවා. ඇවිත් දණක් එරෙන මඩේ බසිති. බලති. කතා කරති. අනේ අපොයි කියති. ටික වෙලාවක් සිටිති. ආපහු යති.
"සමස්තයක් විදියට ගත්තාම නායයෑමකට හසුවන ජනතාව ප්‍රදර්ශන භාණ්ඩ බවට පත්වෙලා. ප්‍රදර්ශනය කරන දුක පිටින් ඇවිත් නරඹනවා. යනවා."

මේ අය ගැන කීමට තිබෙනුයේ මෙපමණයි.
වියෝවීමේ දුක දැනෙනුයේ වියෝවීමත් සමඟම නොවේ. වියෝවීමෙන් පසු එළැඹෙන තනිකම් සමය තුළදියි. දැන් මේ උදාවන්නේ ඒ කාලයයි. දැන් කළ යුතුව තිබෙනුයේ අවතැන්වූවන් එයට මුහුණදීම සඳහා සූදානම් වීම පමණයි. එයයි ඇත්ත.

අරුණඩේල් විජේරත්න ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

No comments:

Post a Comment